Tuesday, July 03, 2012

Combinational Logic

0 ප්‍රතිචාර
සංයුක්ත තාර්කික පරිපථ (Combinational Logic)

ඔන්න මොකක් හරි තාර්කික ක්‍රියාවලියක් සඳහා අපිට පරිපථයක් නිර්මාණය කරන්න ඕනෙ කියලා හිතන්න. එතකොට එක් එක් ප්‍රදාන(Inputs) සංයෝජන සඳහා ලැබෙන්න ඕනෙ ප්‍රතිදාන(Outputs) තාර්කික වගුවක වගුගත කරලා තාර්කික ශ්‍රිතය ලබාගන්න එකනෙ අපි මූලිකවම කරන්නේ. තාර්කික ශ්‍රිතය(Logic Function) හඳුනගත්තට පස්සේ මූලික තර්ක ද්වාර කීපයක් එකතුවෙන් ඒ අවශ්‍ය ශ්‍රිතය සපුරාලන පරිපථයක් අපිට පහසුවෙන් නිර්මාණය කරගන්න පුලුවන්. එතකොට අන්න ඒ පරිපථය මඟින් අපිට අවශ්‍ය කර්තව්‍ය සිදු කරගන්න පුලුවන්.
මේක තමයි අපි තාර්කික පරිපථ නිර්මාණයේදී අපි උසස් පෙළදී දන්න ක්‍රියාවලිය.

උදාහරණයක් බලමු,

ඔන්න එක්තරා වගාවකට බිංදු ක්‍රමයට ජලය සැපයෙන පද්ධතියක් තියනවා කියලා හිතන්න. මෙම ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉලෙක්ට්‍රොනික තර්ක පරිපථයක් නිර්මාණය කරන්න තමයි ඔයාට අවශ්‍ය වෙලා තියන්නේ. දැන් ඕක තමයි ගැටලුව.


දැන් මොකක්ද කරන්න ඕන?
ඔයා වගාවට ගිහින් බලනවා.
ගිහින් බැලුවම මොකක්ද පේන්නේ?
ටැංකියකින් තමා වගාවට වතුර දෙන්නේ
ටැංකියේ වතුරමට්ටම 75%ට වඩා අඩු වෙන කොට වතුර මෝටරය ක්‍රියාත්මක කරන්න සේවකයෙක් ඉන්නවා.
එහෙනම් ගැටලුවක් නෑ නේද? මේ අඛණ්ඩ ජල සැපයුමක් තියන්නේ?
නැත්තේ මොකද. ගැටලුවක් තියනවා
මොකක්ද ඒ?
මේ සේවකයට හැමදාම වැඩට එන් බැරි වෙනවා. එදාට වගාවට වතුර නෑ. වගාව බඩගින්නේ. ඒ විතරක්යැ. සේවකයට මාස් පතා පඩි ගෙවන්න එපායැ.කොහෙන්ද ඔච්චර සල්ලි?
ඇත්ත නේන්නම්. ගැටලුවක් තියනවා.
ඉතින් දැන් ඔයා ගැටලුවට සුදුසු පිළියමක් හොයනවා.

මේ ටැංකියේ ජලමට්ටම 75%ට වඩා අඩු වෙනකොට විතරක් මෝටරය ක්‍රියාත්මක වෙන්න පරිපථයක් නිර්මාණය කලා නම් හරි නේද?
නෑනේ... හරි නෑ... ඇයි ඒ?
බැරි වෙලාවත් මෝටරේ කැඩුනොත්? එදාට වගාව බඩගින්නේ. ඔයාගේ මෝටර් කෑල්ලෙයි අර සේවකයගෙයි වැඩි වෙනසක් නෑ.
එහෙනම් මොකක්ද කරන්න ඕනේ?
ඒ වෙලාවට ක්‍රියාත්මක වෙන්න අතිරේක මෝටරයක් තියන්න ඕනෙ. මෝටරේ කැඩුනා කියලා එලාම් එකක් වදින්නත් ඕනෙ. එතකොට වගා අයිතිකාරයට පුලුවන් මෝටරේ ආයෙත් හදාගන්න.
හරි දැන් අපිට පුලුවන් මේකට හරියන තර්ක පරිපථයක් ඉදිරිපත් කරන්න.
බලන්න මම ඔය ඉදිරිපත් කරලා තියන පරිපථ සටහනෙන් වැඩේ කෙරෙනවා නේද කියලා?

උසස් පෙළදී අපි ඔය වගේ සරල ගැටලු වලට තාර්කික පරිපථ ඇසුරෙන් ඕනෙ තරම් පිළියම් ඉදිරිපත් කරලා ඇති.
දැන් අප බලමු මේ ජාතියේ පරිපථ වල තියන ලක්‍ෂණය මොකක්ද කියලා,

M1,M2 සහ B කියන ප්‍රතිදාන තුනේ තාර්කික අගයන් සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ T, m1, m2 කියන ප්‍රදාන තුනේ වර්තමාන අගයන් මත පමණමයි නේද? කොහොමත් ඒක එහෙම වෙන්න එපායැ. හිතන්න m1 කියන ප්‍රදානේ අතීත අගයන් මතත් ප්‍රතිදාන අගයන් රඳා පවතිනවා කියලා. ඒ පාර ඒක මහ ලෝක ලෙඩක් වෙනවා.
ඇයි ඒ?

ඔන්න මෝටරේ කැඩිලා. m1=0 වෙලා M1=1 වෙනවා. තව B=1 වෙලා අනතුරැ නලාවත් ක්‍රියාත්මක වෙනවා.
එතකොට ඔයා මොකද කරන්නේ?
ඔයා ගිහින් අර කැඩිච්ච මෝටරේ ආයෙත් හදනවනේ. ඒත් m1ගේ අතීත මතකය තියනවා නම් මොකද වෙන්නේ?
ඔයා මෝටරේ ප්‍රතිසංස්කරණය කලාට පස්සෙත් මෙන්න අනතුරු නලාව කෑ ගහනවා!
අවුල් නේද එහෙම උනොත්?
ඒක තමා. එහෙම වෙන්නේ නෑනේ.

ඒ කියන්නේ අපි මෙච්චර කල් උසස් පෙළට ඉගෙන ගත්තු හැම පරිපථයකම ඒවයේ ප්‍රතිදාන රඳා පැවතුනේ ප්‍රදාන වල "වර්තමාන අගයන්" මත පමණමයි.
අන්න ඒ ජාතියේ තර්ක පරිපථයකට අපි කියනවා "සංයුක්ත තාර්කික පරිපථයක්" කියලා.

Post a Comment